රනින් ලියැවුණු නමක්

දුටුවන් නෙත් පිනවන, භක්තියාදරය උතුරන රුවන්වැලි සෑය නිර්මාණය කළ දුටුගැමුණු රජු, ලාංකේය ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම නායකයා යැයි පැවසිය හැකිය. ඈත අතීතයේ සිට අද දක්වාම කතා බහට ලක් වන්නට, ගෞරවාදරයට පාත්‍ර වන්නට සහ අන් රජුන් අතර කැපී පෙනෙන්නට දුටුගැමුණු රජුට හැකි වී ඇත්තේ ඔහු සතු වූ අසහාය පෞරුෂයය නිසාය. එඩිතරබව හා එක් වූ කරුණාව, රට කෙරෙහි තිබූ අසීමිත ළෙංගතුබව, සංවේදී බුද්ධිමත්බව ආදී සියල්ල ඔහුගේ පෞරුෂය ඉහළින් ඔසවා තැබීමට සමත් විය.

දුටුගැමුණු චරිතය ප්‍රබලව ඉස්මතු වන්නේ එළාර හා පැවති යුද්ධයේදීය. කුඩා කල සිටම එඩිතර බව පෙන්නුම් කළ ඔහු, සත්‍යයට බිය නොවී, රට වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවූ චරිතයකි. පුරාවෘතවලට අනුව ඔහු විහාරමහා දේවියගේ කුස පිළිසිඳගන්නේම රට රැක ගැනීම පිණිසය. එය ඔහුගේ පරම අපේක්ෂාව බවට පත් වේ. ලේවලින්ම පැමිණි මවගේ අභීතභාවය ඔහුට අමුතුවෙන් කියා දිය යුතු නොවීය. සිය හදවතට එකඟව රජ සැප විඳීමට හිත නොදුන් කල ඔහු රජ මාළිඟය හැරදා අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නික්ම යයි. සිය ජනතාවට වඩාත් සමීප වන්නට ඔහු තීරණය කරන්නේ එලෙසිනි. දුටුගැමුණු වසර ගණනාවක් පුරා සැඟවුණු ජීවිතයක් ගත කර යළි කරළියට එන්නේද සිට රටවැසියන්ට තමන්ව අවැසි වූ මොහොතකදීය. එළාර සිය යුධෝපායන්ගෙන් රටේ ජනතාව බියවද්දමින්, රට ආක්‍රමණය කරමින්, රටේ සම්පත් විනාශ කරමින් සිටි මොහොතකදීය.

කිසිදු පැකිළීමකින් තොරව රට වෙනුවෙන් යුද වැදුණු ඔහු යුද පිටියේදී අභීත සෙන්පතියෙක්, ආදර්ශමත් රණ ශූරයෙක් වූවේය. එසේම ඒ එඩිතර රණකාමී බවට යටින් ඔහු තුළ මනුස්සකම පිරී තිබුණි. එයට කදිම උදාහරණයක් වන්නේ දුටුගැමුණු සිය සොහොයුරා වන සද්ධාතිස්ස කෙරෙහි දැක්වූ සෙනෙහසයි. තමන්ට විරුද්ධව ඔහු යුද ප්‍රකාශ කරද්දීද දුටුගැමුණු රජුට ඔහු සිය බාල සොහොයුරාම විය. වරෙක සද්ධාතිස්ස දුටුගැමුණුගෙන් වහන් වී ගිලන් වූ හාමුදුරු කෙනෙකු සේ වෙස්වළාගෙන හාමුදුරුවරුන්ගේම කර පිටින් යද්දී, ඒ දුටු දුටුගැමුණු රජු පැවසුවේ, තමන්ව කරපිටින් ගෙන යන පූජ්‍ය පක්ෂය අමතක නොකරන ලෙසයි. දුටුගැමුණු රජු සතු තවත් එක් උදාර ගුණාංගයක් මෙහිදී ඉස්මතු වේ. ඒ ඔහු බුදු දහම කෙරෙහි දැක්වූ අපිරිමිත ගෞරව භක්තියයි. සෑමවිටම වෙහෙර විහාර තැනීම සහ දානමය පින්කම් ආදිය කෙරෙහි යොමු වූ ඔහු මිරිසවැටිය තැනීමේ හේතුවද අපූරුය. පුරාවෘතවලට අනුව වරෙක පූජ්‍ය පක්ෂයට දානයක් දුන් අවස්ථාවකදී දුටුගැමුණු රජුට අතපසුවීමකින් මිරිස් රසයෙන් යුත් කෑමක් සැපයීමට නොහැකි වී තිබේ. මින් දැඩි සිත් තැවුළට පත් රජු චෛත්‍යයක් තනා එයට මිරිසවැටිය ලෙසින් නම් තැබුවේ එම අතපසුවීමට හිලව්වක් ලෙසිනි. බුදු දහමට එතරම් ළැඳියාවක් දැක්වූ ඔහු ජීවිතයේ සෑම අවස්ථාවකදීම මානුෂීය ගුණයෙන් යුත් වූයේ ඒ පන්නරයෙන් විය යුතුය. එසේම දුටුගැමුණු රජු තම ආගමට මූලිකත්වය දුන්නද, අන් ආගම්වලටද ගරු කළ සහ ඒවා ඉවසූ පරිණත චරිතයකි.

ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජුගේ විශිෂ්ටත්වය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ එළාර දුටුගැමුණු යුද්ධය අවස්ථාවේදීය. අවසන් යුදමය අවස්ථාවේදී දුටුගැමුණු එළාරට මුහුණට මුහුණ සටනට ඒමට ආරාධනා කරන්නේ සෙනඟක් වෙනුවට දෙදෙනෙක් පමණක් විනාශ වීම සුදුසු යැයි පිළිගනිමිනි.එළාරද නියම යුද ප්‍රතිවාදියෙක් ලෙසින් එයට එකඟ වේ. එම ශ්‍රේෂ්ඨ සටනින් එළාර මරණයට පත් වුවද, දුටුගැමුණු ඔහුට ලබා දෙන්නේ ගෞරවනීය මරණයකි. එළාර වෙනුවෙන් දෙවොලක් තැනූ දුටුගැමුණු රජු යන එන විටදී සියලු දෙනාට එයට ගරු කිරීමටද නීතියක් පැනවීය. යුද්ධයක් ජය ගැනීම දක්ෂතාවයකි. එහෙත් කාරුණිකබවට තමන් හැර යාමට ඉඩ නොදී යුද්ධයක් විශිෂ්ට ලෙසින් ජය ගැනීම සියලු දෙනාට කළ නොහැකි සුවිශේෂී දක්ෂතාවයකි. එයට දුටුගැමුණුට වන් ශ්‍රේෂ්ඨ පෞරුෂයක් සහ කාරුණික හදවතක් තිබිය යුතුමය. ඉතින් මේ උදා වී ඇත්තේ එවන් එඩිතර, කාරුණික, සංවේදී, බුද්ධිමත් සහ රටට ආදරය කරනා නායකයින් තැනිය යුතු යුගයකි.

‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් සම්බුද්ධ සාසනයේත්, රටේත් චිරස්තිථිය පිණිසය’

– දුටුගැමුණු රජු –