දිය බිදක් මහමෙරක්

“වතුර කියන්නේ දේවත්වයෙන් සැලකුම් ලැබූ සම්පතක්. ජීවිතය ගැන පැතුම් පොදි බඳින්නට කලින් ඒ ජීවිතය දුන්නු සොබා දහමට ගරු කරන්න ඉගෙන ගන්න.”

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්ථවිර 

අපි කෘෂිකර්මාන්තය මත පදනම් රටක්. කෘෂිකර්මාන්තය සහ සංස්කෘතිය අතර ඇති සබඳතාවයේ ඉතා වැදගත් සංකල්පයක් ලෙසින් ජලය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගැමි, සම්ප්‍රදායික පැරණි සමාජයේ ප්‍රධානතම සංඛේතයන් දෙක වූයේ වැව සහ දාගැබයි. වැව තනා රට දියෙන් ස්වයංපෝෂිත කරමින් ජීවන තත්ත්වය උසස් කරන අතරේ දාගැබ් තනමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න අපේ රජවරු අමතක කළේ නැහැ. 

අපේ මුතුන් මිත්තන් ජලය විතරක් නෙමෙයි, සොබා දහමට සම්බන්ධ හැම දෙයක්ම සැළකුවේ සම්පත් ලෙසින්. ඒ ගරුත්වය නොපැකිළී සොබා දහමට ලබා දුන්නු නිසා හරිම සමීප සබඳතාවයක් සොබා දහම සහ මිනිසුන් අතර එදා ගොඩනැගී තිබුණා. වන සම්පත, ජල සම්පත, අලි සම්පත, භූමි සම්පත, සාගර සම්පත ආදී ලෙසින් සොබා දහමේ හැමදෙයක්ම සම්පතක් ලෙසින් පිළිගත් නිසා සොබාදහමත් මිනිසුන්ට ආදරය කළා. ඒ වගේම අපේ පරාක්‍රමබාහු රජතුමා ඉතිහාසය පුරා දෝංකාර දෙන්නට වතුරේ අගය කියා දුන්නේ ‘අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයා යුතුයි’ ලෙසින් ප්‍රතිඥා දෙමින්. 

ශ්‍රී ලංකාවට වසරකට වැටෙන වැහි දිය ප්‍රමාණය හෙක්ටයාර් මීටර් මිලියන 12 ක් පමණ වෙනවා. නමුත් මින් ගලා යන ජලය ලෙසින් ප්‍රයෝජනයට ගත හැකි පරිදි ඉතුරු වෙන්නේ හෙක්ටයාර් මීටර් මිලියන 3.5 ක් පමණ සුළු ප්‍රමාණයක් විතරයි. ඉතින් දැනටමත් ලංකාවෙ කිරි බෝතලේට වඩා වතුර බෝතලේ මිල අධිකයි. ළඟදීම ජල හිඟයක් එන බවට පැහැදිළියි. ජලය ආරක්ෂා කර නොගත්තොත් අපි හැමෝටම විශාල ගැටලුවකට මුහුණ දෙන්නට වීම නියතයි. ඉතින් ජනිත වීමේ පටන් වියැකී යන තුරුම ජලය මත රදා පවතින ජීවිතය ආරක්ෂා කරගන්න කරන දේවලින් ටිකක්වත් අපි ජලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදු නොකරන එක ඇත්තෙන්ම කණගාටුදායකයි. උපතේදී පටන් මරණය දක්වාම සියලුම අතිශය වැදගත් අවස්ථාවලදී අප ළං කරගන්නේ ජලයයි. හිල් පොල්කට්ටෙන් අපව නෑවූ දා පටන්, අත පැන් වත්කිරීමේ සිට මරණ මංචකයේදී පැන් වැඩීම දක්වා ජලය ජීවිතය හා බැඳී පවතිනවා. අපේ මුතුන් මිත්තන් එදා අවුරුද්දට ගනුදෙනු කළේ පවා ජලය සමඟින්. ඔවුන් ළිඳට සැළකුවේ අතිශය ගෞරවාන්විතව. නව අවුරුද්දක් උදා වෙද්දී සුබ නැකතින් ආහාර අනුභවයටත් පෙර පැළයක් සිටවා වැඩ අල්ලා ළිඳත් සමඟින් ගනුදෙනු කළේ එකල මුදල් වලට සියල්ල යට වූයේ නැති නිසයි. අදට වැඩියෙන් සොබා දහමට සංවේදී මිනිසුන් එකල සිටි බව සැබෑවක්. අද පවතින ඒ අසංවේදීත්වය නිසාම ලොව ජල ගැටලුවකට මුහුණ දී තිඛෙන බව අපි හැමෝම දන්නවා. ජල උල්පත් එන්න එන්නම හීන වෙනවා. වැහි චක්‍රය පවා අක්‍රමත් වී කල් වැහි නොදී අකල් වැහි හෙළන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ සිදුවෙමින් යන විපත හරිහැටි වටහා ගෙන ඊට අවශ්‍ය පියවර ගන්නට අපි පෙළ ගැහෙන්න ඕනේ. ජලය රැක ගැනීම කියන්නේ ජීවිත රැකගැනීමයි. ස්වභාව ධර්මය හා බැඳුණු ජල සම්පතට දේවත්වයෙන් සැළකුවත් වටින වග නැවත නැවතත් මතක් කරන්නට කැමති වන්නේ එනිසායි.