ඇල්ලේ හාමුදුරුවන්ගේ පන්සලේ රැව්දුන් ෆොන්සේකාගේ ගෝරනාඩුව

ඇල්ලේ ගුණවංශ කියන්නේ චීවරධාරියෙක්… ඒ චීවරධාරියාට පිස්සු… ඒ චීවරධාරියා මොනවද හමුදාවට කළේ? යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කළ මේ ප්‍රකාශය සමාජයේ බොහෝ පාර්ශ්වවල නිර්දන විවේචනයට ලක්විය. මහා සංඝරත්නය මේ විදිහට විවේචනය කරන්නේ කාගේ හයියක් අරගෙනද? මේ නටන්නේ… මෙහෙම ප්‍රකාශ කරන්නේ එන්.ජී.ඕ. කාරයන්ගේ වුවමනාවන් ඉටු කරන එන්.ජී.ඕ. ගැත්තන්ද? කට වරද්දා ගත් බව කියන විජේදාස රාජපක්ෂව අයින් කරන්න පුළුවන්නම් ඇයි හාමුදුරුවන්ට බණින, හමුදාවට යුද අපරාධ චෝදනා කරන මේ වගේ ඇමැතිවරුන්ට එරෙහිව පියවර ගන්නට බැරි? ජනතාව එසේ ප්‍රශ්න කරති. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පසුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද ඊට නොදෙවෙනි ලෙස මහ සඟරුවනට දොස් පරොස් කීහ. එයින් මේ දෙදෙනාම මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාවගෙන් දිනාගත්තේ අප්‍රසාදය පමණි.

සරත් ෆොන්සේකා විසින් ගැරහුමට ලක්කළ ඇල්ලේ ගුණවංශ හිමි යනු කවුදැයි ශ්‍රී ලාංකික ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැති වග අපි විශ්වාස කරමු. උන්වහන්සේට දේශපාලනයක් තිබුණේ නැත. තිබුණේ දේශප්‍රේමයකි. ඒ දේශප්‍රේමයට සීමාවක් තිබුණේ නැත. පාට පක්ෂ පන්ති භේද වලංගු වූයේද නැත. රට වෙනුවෙන්, රටේ ජාතික ප්‍රශ්න වෙනුවෙන් මෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව හමුදාව වෙනුවෙන්ද උන්වහන්සේ පෙනී සිටියහ. ඇල්ලේ ගුණවංශ හිමියන් අරගල කළේ රටේ ඒකීයත්වය වෙනුවෙන් මිස දියවන්නාවේ ආසනයක් වෙනුවෙන් නොවේ. සෘජු කශේරුකාවක් සහිත කවර ජගතෙකුට වුවත් කිවයුත්ත නොවලහා කියන ඇල්ලේ ගුණවංශ හිමි අරභයා සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය උන්වහන්සේ ගැන තතු දත් සියලු පාර්ශ්වයන්ගේ දැඩි උදහසට හේතු වූයේ එබැවිනි.

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදා ප්‍රධානීන්, දේශපාලනඥයන් සහ උන්වහන්සේ කෙරේ භක්ත්‍යාදරයෙන් කටයුතු කළ දායක දායිකාවන් උන්වහන්සේ වැඩ සිටින පන්සල වෙත පැමිණියහ. ඒ පැමිණි පිරිස, විශේෂයෙන් දේශපාලනඥයන් උන්වහන්සේට පැවසූ දේවල් මොනවාද? සරත් ෆොන්සේකා නැගූ චෝදනාවලට උන්වහන්සේට දෙන්නට ඇති පිළිතුරු මොනවාද? ඒ ගැන අපි උන්වහන්සේගෙන් විමසුවෙමු.

ත්‍රිවිධ හමුදාවේ ඉඳන් විශ්‍රාම ගිය නිලධාරීන් ඇතුළුව දැනට හමුදාවේ ඉන්න නිලධාරීන් සීයට අනූඅටක් සරත් ෆොන්සේකා ඔය කතාව කියපු දවසට පසුවදා ඉඳන් අද වෙනකම් මාව හමුවෙන්න ආවා.

අපිට හාමුදුරුවෝ තරම් උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නෑ කියන කතාව ඒ හැමෝම කීවා. එදා යුද පෙරමුණේ හිටපු අපේ සොල්දාදුවන්ට යට ඇඳුමේ ඉඳන් අවශ්‍ය කරපු හුඟක් දේ මම දුන්නා. ඒ කොල්ලෝ තුවාල වෙලා ඉස්පිරිතාලෙට ආවම මම ඒ කොල්ලන්ව බලන්න ගියා. උන්ට ලේ ඕන වෙද්දී ලේ හොයලා දුන්නා. ආබාධිත වෙලා ඇඳේ හිටපු කොල්ලන්ට ගෙදරට යවන්න ලියුම් පවා අපි ලියලා දුන්නා. අපේ දායක තරුණ තරුණියෝ එක්ක එකතුවෙලා ටෙලිෆෝන් අරන් ගිහින් ආබාධිත වෙලා හිටපු රණවිරුවන්ගේ පෙම්වතියන් එක්ක උන්ට කතා කරන්න ඉඩ හදලා දීලා උන්ගේ මානසික සතුට ඇති කරන්න අපි මහන්සි ගත්තා. වරක් ලයනල් බලගල්ල හමුදාපති ලෙස ඉද්දී මට දවසක් කතා කළා. මට මතක විදිහට වෙලාව රෑ 1.00ට විතර ඇති. හාමුදුරුවනේ… ලොකු ඔපරේෂන් එකක් ගියා. අපේ කොල්ලො දෙසීයකට විතර තුවාල. හෙට උදේ වෙද්දී මෙච්චර ලේ ෆයින්ට් ගාණක් ඕනෑ…. ඔහොම තමා මට ලේ ඕන කියන පණිවිඩය ආවේ. මම පහුවදා උදේම වාහන අරගෙන ලේ බැංකුවේ කට්ටියත් එක්ක ගිහින් මිනිසුන්ගෙන් ලේ අරගෙන ඒ ඉල්ලපු ලේ ෆයින්ට් ගාණ ඉල්ලපු වෙලාව වෙද්දී ගිහින් දුන්නා. එදා ඔය වැඩේට ලයනල් බලගල්ල හමුදාපතිතුමා මා ළඟට එව්ව බ්‍රිගේඩියර් අද විශ්‍රාමිකයි. සරත් ෆොන්සේකා මාව විවේචනය කළදාට පසුදා ඔහු මට කතා කරලා මේ අතීත සිදුවීම් මතක් කරලා කීවේ මට හරි කනගාටුයි හාමුදුරුවනේ කියලා.

යුද්ධය තිබුණ කාලෙ මම තුන් මාසයකට වතාවක්වත් ලොරි පහක විතර බඩු යැව්වා යුද බිමට යන සොල්දාදුවන්ට. සරම්, තුවා, රේසර්, දත් බෙහෙත්, කණ්ණාඩි, මේස් බැනියම් විශේෂයෙන් පිරිමි යට ඇඳුම් මේ හැමදේම යැව්වා.

දවසක් ක්‍රියාන්විත රාජකාරිවල යෙදී සිටි සොල්දාදුවෙක් මට කතා කරලා කීවා හාමුදුරුවනේ අපේ කකුල් ඉවරයි කියලා. මම ඇහුවා ඇයි කියලා. හාමුදුරුවනේ යට ඇඳුම් මාරු කරගන්න විදිහක් නෑ. මාරු කරලා අඳින්න යට ඇඳුම් නෑ කීවා. එකම යට ඇඳුම අපිරිසිදුව ඇඳන් ඉඳලා අපේ ඉකිලි තුවාල වෙලා කීවා. ඒ කීවදාට පසුවදා උදේ මම දන්න දන්න ඔක්කොටම කතා කරලා පනස්දාහක් යට ඇඳුම් සූදානම් කරගත්තා. එදාම මම ගුවන් යානයක් කතා කරගෙන ඒ යට ඇඳුම් පනස්දහම ඇරියා යුද බිමට.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉද්දී කීවා අපිට යුද්දෙ කරන්න බෑ සොල්දාදුවෝ නෑ කියලා. මම චන්ද්‍රිකාට කතා කරලා කීවා ඔයා හරි වැරදි කතාවක් කළේ… ඔයා කවුද කියලා ඔයා දන්නෙත් නෑ… ඔයා රටේ සේනාධිනායක… ඔයා ඔහොම කතා කරද්දී අපේ හතුරෝ ත්‍රස්තවාදීන් මොකද හිතන්නේ කියලා. ඉතින් සොල්දාදුවෝ නෑනේ හාමුදුරුවනේ කීවා. මම කීවා ඔයා ඔහොම කතා කරන්න එපා.. අපි සෙනඟ දෙන්නම් කොච්චරද ඕන කියලා ඇහුවා. එදා චන්ද්‍රිකා මාත් එක්ක රණ්ඩු වුණා. මම කීවා හරි සෙනඟනේ ඕන… අපි දෙන්නම්. ජාතිය අමතලා අපිට යුද්ධ කරන්න සොල්දාදුවෝ නෑ කියලා මෝඩ කතා කියන්න ඉස්සර අපිට කතා කරන්න තිබුණනේ කියලා මම කීවා. මම පන්සලේ මාධ්‍ය සාකච්ජාවක් තියලා කීවා හමුදා සේවය අත්හැරලා ගිය සොල්දාදුවෝ එන්න මගේ ළඟට. පන්සලට, ආයෙත් හමුදාවට බැඳෙන්න රට බේරාගන්න සටනට යන්න කියලා.

අවසන් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දීත් මම ඒ වගේම මට දිය හැකි සහයෝගය දුන්නා. එතකොට රාජ්‍ය නායකයා මහින්ද මහත්තයනේ. මහින්ද මහත්තයා නියම දේශප්‍රේමියා නිසා ඒ වෙද්දී මට තිබුණ හයි හත්තියත් හුඟක් වැඩියි. ඒ එක්කම ආරක්ෂක ලේකම් වුණේ ගෝඨාභය මහත්තයනේ. එයත් එඩිතර දේශප්‍රේමියා. මට ලොකු ශක්තියක් වුණා ඒ දෙන්නගේ ඒ දේශප්‍රේමය. අපි පන්සලේදී හම්බවුණා. ඒ හැම වතාවකම කතා කළේ ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්න එක ගැන.
යුද්ධයේදී මම තුවක්කුවක් අතට නොගත්තට ඒ අවුරුදු තිහම මම යුද්දෙට ගිය අපේ හමුදාවේ කොල්ලොත් එක්ක හිටියා. මම අර කලින් කීවේ අපි හමුදාවෙන් පැනලා ගිය කොල්ලන්ව නැවත හමුදාවට ගෙන්න ගන්න ක්‍රමයක් කල්පනා කළා කියලා. ඇත්තටම මම උන්ට හමුදාවෙන් පැනලා ගිය කොල්ලො කියලවත් කියන්න කැමති වුණේ නෑ. මම කීවේ හමුදා සේවය අත්හැර ගිය සොල්දාදුවන් කියලා. පන්සලේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව අපි එන්න කියපු දවසේ ආව කොල්ලො කොච්චරද කියනවානම් මගේ පන්සලේ ඉඳලා රූපවාහිනි සංස්ථාව ළඟට හැතැප්ම ගාණක් පෝලිම තිබ්බා. එදා මට එළිවෙනකම් නින්දක් නෑ. පුටුවක් උඩ වාඩි වෙලා හිටියා. ආව හැම කොල්ලෙක් එක්කම මිනිත්තු තුනක්වත් මම කතා කළා. එක කොල්ලෙක්ට මම කතා කරලා ඇහුවා කොහෙද පුතා උඹ හිටියේ, ඇයි පැනලා ගියේ කියලා. අම්මට අංශභාගෙ හැදුනා… බලාගන්න කෙනෙක් නෑ… නිවාඩු නැතිවුණ හින්දා මම පැනලා ගියා කීවා. මම ඇහුවා උඹ හමුදාවෙන් පැනලා ගියානම් ආයෙත් එන්න කීවාම ආවේ ඇයි කියලා. අපේ හාමුදුරුවෝ එන්න කීවාම නෑවිත් ඉන්ට බෑනේ කීවා. මම ඇහුවා උඹ බැඳලද කියලා. නෑ.. කීවා. කෙල්ලෙක් ඉන්නවද ඇහුවා. ඔව් කීවා. මම කීවා උඹ එහෙනම් බැඳපන් උඹ බැඳලා කෙල්ලව අම්මා බලාගන්ට අම්මා ළඟ තියලා උඹ ආයෙත් මගේ ළඟට වරෙන්.. හැබැයි උඹ උඩහ යන්ට ඕනෑ කියලා. උඩහා කියන්නෙ යාපනේට. මේ කොල්ලා බැඳලා කෙල්ලව අම්මා ළඟ තියලා ආයෙත් ආවා. එදා ඒ කොල්ලා හමුදා සේවයට ආයෙත් යන්ට ලෑස්ති වෙච්ච දවසේ කරේ තිබුණ හීනි චේන් එක ගලවලා මගේ අතට දුන්නා හමුදුරුවෝ මේක තියාගන්න කියලා. මගේ ඇස්වලට කඳුළු ආවා. මම කීවා පුතා මට ඒක එපා. උඹ දාගෙන පලයන්… උඹ යුද්දෙ දිනලා ආවොත් මම උඹට පවුමක දෙකක මාලයක් හදලා දෙන්නම් කියලා. හාමුදුරුවෝ මේක ගන්ට හාමුදුරුවන්ට එපා නම් මගේ අම්මට දෙන්න කියලා ඒ කොල්ලා ඒ මාලෙ දීලම යන්න හැදුවා. මම ගත්තෙ නෑ. ඒ කොල්ලා යුද්දෙදි මැරුණා.

ඒ වගේ ඉතා සංවේදී සිද්ධි කොච්චරක්දෝ මම යුද්ධය තිබුණ අවුරුදු තිහ තුළ අත්වින්දා. අදටත් වැටකොළු, පතෝල වගේ ඇඳවල් උඩ වැටිලා ඉන්න යුද්ධයෙන් ආබාධිත වුණ කොල්ලො දහස් ගණනක් ඉන්නවා. ඒ සමහර කොල්ලො හැම තිස්සේම අවසිහියෙන් කෑ ගහනවා අන්න එනවා ටෙරා කියලා. ඒවා දකිද්දී බඩ පපුව පිච්චෙනවා.

ඉස්සර සිංහල අලුත් අවුරුදු කාලෙට අපි යුද්දෙ ඉන්න කොල්ලන්ට යවන්න පුංචි පුංචි රස කැවිලි පාර්සල් හදනවා. ඒ පාර්සල් ඇතුළට පුංචි දරැවන්ට කියලා ලියුම් ලියවලා දානවා. මාමේ අපි ඔයාලා එනකම් බලාගෙන ඉන්නවා. අපේ රට බේරලා දෙන්න මාමේ… ඒ වගේ දේවල් තමා මේ ලියුම්වල ලියන්නේ. අපි එහෙම කළේ යුද්ධයේ ඉන්න අපේ සොල්දාදුවන්ගේ චිත්ත ශක්තිය වඩවන්න. වරක් මම කතෝලික භක්තික ජෙනරාල්වරයකුට කීවා කොල්ලෝ යුද්දෙ කරන වේගය මදී.. මොකද මුන් කරන්නෙ කියලා. ඒ වෙලාවේ ඒ ජෙනරාල් කීවා හාමුදුරුවනේ බෞද්ධ ළමයි පවට බයයි. යුද්දෙට යන ගොඩක් සෙබළු මස් මාළු කන්නෙත් නෑ කියලා. ඒ වගේ ගෞරවපූර්ව මෙහෙවරක් තමයි ඔවුන් කළේ.

අඩුම අඩු ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත්ත සරත් ෆොන්සේකා අද යුද අපරාධ ලේබලය ගහන්න හදන්නෙ එහෙම හමුදාවකට. සරත් ෆොන්සේකා හමුදාපති වෙන්න කලින් මගේ පන්සලට එනවා. හවසට ඇවිත් පැයක් දෙකක් ඉඳලා යනවා. එයාව ඉස්සරෝම පන්සලට එක්ක ආවේ අද විශ්‍රාමිකව ඉන්න මේජර් ජෙනරාල්වරයෙක්. ඔහු සරත් ෆොන්සේකාගේ ගුරුවරයෙක්. දවසක් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්තයා මීගමුවේ පන්සලක පෙරහරක් තියෙනවා කියලා සමාරම්භක අවස්ථාවට මටත් ආරාධනා කළා. මම ඒකට යන බව දැනගත් මහින්ද අපේ හිටපු ජනාධිපතිතුමා මට කතා කරලා කීවා අපේ හාමුදුරුවනේ මටත් ආරාධනාවක් තියෙනවා අපි දෙන්නම එකට යමු… මම පන්සලට එන්නම් කියලා. මහින්ද මහත්තයා පන්සලට එද්දි එදා සරත් ෆොන්සේකාත් පන්සලේ හිටියා. සරත් ෆොන්සේකාට යුද හමුදාපතිකම දෙන්න කියපු අයගෙන් මමත් එක්කෙනෙක්. එදා සරත් ෆොන්සේකා මට පිස්සු චීවරධාරියා… කියලා බැන්න දවසේ සරත් ෆොන්සේකා ඉස්සරෝම මගේ පන්සලට එක්ක ආව මේජර් ජෙනරාල්වරයා මට කතා කරලා සරත් ෆොන්සේකා ඒ විදිහට කතා කරපු එක ගැන හුඟාක් දුක් වුණා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කතා කළා. කෙළෙහි ගුණ නොදත් මිනිස්සුනේ හාමුදුරුවනේ කියලා කීවා. බොහෝම කනගාටුවෙන් තමා එතුමාත් කතා කළේ. ෆොන්සේකා එදා මට ඔය විදිහට නින්දා සහගතව කතා කළ බව දැනගත්ත මොහොතේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඇස්වල කඳුළු පිරුණලු. මට කීවේ එදා මහින්ද මහත්තයත් එක්ක හිටපු මිනිස්සු. මහින්ද රාජපක්ෂ කියන්නේ මවුවත් ගුණ තියෙන කෙනෙක්. ඒත් මම එයාටත් සැරෙන් හිටපු හාමුදුරුවෝ කෙනෙක්. රටේ ප්‍රශ්න වලදි මම මහින්ද මහත්තයා එක්කත් හැප්පිලා තියෙනවා. ඒත් එතුමා කවදාවත් සංඝරත්නයට බැන්නෙ නෑ. බුදුදහමට සංඝරත්නයට හදවතින්ම සැලකුවා. ගරු කළා. මට බැන්න වෙලාවෙත් හරිම වේදනාවෙන් කතා කළේ.

ඒ කාලේ යූ.එන්.පියෙත් හොඳ මහත්තුරු හිටියා. ජේ.ආර්., ගාමිණි, ලලිත් වගේ මහත්තුරු හිටියා. සරත් ෆොන්සේකාලා වගේ හමුදාවට චෝදනා කළ හාමුදුරුවන්ට බැන්න ජෙනරාල්ලා හිටියෙ නැහැ. ගාමිණි දිසානායක මහත්තයා කොළඹ හිටියොත් දවසට දෙපාරක් පන්සලට ආවා. මට සැලකුවේ සහෝදරයෙක්ට වගේ. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මම කතා කළ ඕනම වෙලාවක පන්සලට ආවා. මට දේශපාලනයක් තිබුණේ නෑ. මට තිබුණේ දේශප්‍රේමයක්. ඒක දන්න අය අදටත් ඉන්නවා. සරත් ෆොන්සේකා නින්දිත විදිහට කතා කළ දවසේ එක හමුදා ප්‍රධානියෙක් මට කතා කරද්දී එතුමාට ඇඬෙන්න ආවා. මම එතුමාට කීවා අපි ඉන්නකම් මේ රටට අත තියන්න මේ ආණ්ඩුවටවත් එන ආණ්ඩුවකටවත් අපි ඉඩ දෙන්නෙ නෑ කියලා.

පසුගිය දවසක රෑ 7.21ට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මට කතා කළා. මම එතුමාට කීවා ආණ්ඩුවේ මැති ඇමැතිලා අපේ මහානායක හාමුදුරුවරුන්ට… හාමුදුරුවරුන්ට බණිනවා… විනිශ්චයකාරවරුන්ට නීතිඥයන්ට වෛද්‍යවරුන්ට බණිනවා. ඔයා තව අමාත්‍යංශයක් හදාගන්න කියලා. ජනාධිපතිවාරයා ඇහුවා තව අමාත්‍යංශයක් ඒ ඇයි හාමුදුරුවනේ කියලා. මම කීවා හාමුදුරුවන්ට, විනිශ්චයකාරවරුන්ට වෛද්‍යවරුන්ට නීතිඥයන්ට බණිද්දි ඒවා නිවැරදි කිරීමට කතා කරන්න තව ඇමැතිවරයෙක් පත් කරන්න කියලා. එතකොට ජනාධිපති කියනවා ඒක තමා හාමුදුරුවනේ මේ මිනිස්සු හින්දා මට උදේ ඉඳන් වෙන වැඩක් කර ගන්න නෑ කියලා..

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මේ වගේ තව හුඟක් මන්ත්‍රීවරු සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසුව ආවා මාව හම්බවෙන්න. ඒ මන්ත්‍රීවරු මට කීවා මහින්ද මහත්තයා කීවලු මම රැස්වීම්වල කතා කරන්න ගියාමත් මිනිස්සු මගෙන් අහන්නේ හාමුදුරුවන්ට බැන්න එක ගැන… මිනිස්සු ඒ ගැන හරි තරහෙන් කෑ ගහනවා කියලා. ලලිත් වීරතුංග මහත්තයා හිරගෙදර ඉඳන් මට කළ දෝෂාරෝපණ ගැන හරිම කනගාටුවෙන් කතා කළා කියලත් මට දැනගන්න ලැබුණා.

ඇත්තටම මේ සිද්ධිය මට මිනිස්සුන්ව පරීක්ෂා කරගන්න හොඳ අවස්ථාවක් වුණා. මිනිස්සු මට මෙච්චර ආදරේද කියලා මේ සිද්ධියෙන් පසුව මට තේරුණා.

රවී කරුණානායක මන්ත්‍රීවරයාත් මාව මුණගැහෙන්න ආවා. හැබැයි මම රවී කරුණානායකට සෘජුවම කීවා මම යූ.ඇන්.පී ආණ්ඩුවට විරුද්ධයි… මම දේශපාලන වේදිකාවට එනවා… ඒ එන්නේ මේ රටට ආදරය කරන අනාගත නායකයෙක් එක්ක කියලා. මම යුද්ධය වෙනුවෙන් කරපු දේවල් මම රවී කරුණානායකට වචන වලින් කීවේ නෑ. මගේ ළඟ තිබුණ පිංතූරවලින් පෙන්නුවේ.

කොටි ත්‍රස්තවාදීන් මාව කීප වරක්ම මරන්න හැදුවා. ඒත් මම මගේ වගකීම අත්හැරියේ නෑ. ඒ නිසා අද සිද්ධවෙන බොහෝ දේවල් දකිද්දි අපිට රට ගැන කැක්කුමක් තියෙන උදවිය විදිහට සාධාරණ වේදනාවක් දැනෙනවා.

මේ ආණ්ඩුව ආපු ගමන් භික්ෂු කථිකාවත කියලා එකක් ගෙනාවා. ඊට අනුව අපි පාරේ රැස්වීමක් තිබ්බත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඊළඟට ගේන්න හැදුවා ආගම්වාදී ජාතිවාදී කියලා පනතක්. අපි විරුද්ධ වෙද්දී ඒ පනත් පැත්තක තිබ්බා. ඉස්සරලම හැදුවේ හාමුදුරුවන්ට හිරිහැර කරලා වට්ටන්න. මේ චීවරය බලවත් කියලා බටහිර රටවල්, එන්.ජී.ඕ කාරයෝ වගේම දෙමළ ඩයස්පෝරාවත් දන්නවා. එල්.ටී.ටී.ඊ. එක නිතරම කීව දෙයක් තමා මේ කහරෙදි පොරවා ගත්ත උන් ඉන්නකම් මේක කරන්න බෑ කියලා. අද අපට වෙලා තියෙන්නෙ බුද්ධාගමයි හාමුදුරුවොයි රටයි තුනම රැකගන්න සටන් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහම පෝෂණය කරලා සුරක්ෂිත කරලා ප්‍රමුඛස්ථානය දීමේ වගකීම ගැන. සිල් රෙද්දක් බෙදීම වරදක් නම් එතකොට ඒ වගන්තිය මොකද්ද?

පෝයටත් මත්පැන් විකිණීම සාධාරණීකරණය කරලා පාර්ලිමේන්තුවේදී කතාකරපු ඇමැතිවරු ඉන්න ආණ්ඩුවේ සමහරැ එන්.ජී.ඕ. සහ දෙමළ ඩයස්පෝරා මතයට නටන්නේ හාමුදුරුවරු වට්ටන්න. ත්‍රස්තවාදයෙන් කොටින්ට ගන්න බැරි වෙච්ච ඊළම දීලා දාන්ට. ෆොන්සේකා කරපු කියපු දේවල් වලට සිංහල මිනිස්සු බණිද්දි එන්.ජී.ඕ. කාරයෝ, දෙමළ ඩයස්පෝරාව සහ දෙමළ සංවිධාන ෆොන්සේකා ගැන හරිම ප්‍රසාදයෙන් කතා කළා. ඒ අස්සේ විග්නේෂ්වරන් මහා නායක හාමුදුරුවන්ගේ පන්සලට ගියා උන්වහන්සේට ෆෙඩරල් ගැන කියන්න. ඊළඟට බෝගම්බර ඉන්න දරුණුම කොටි ටිකත් බලන්න ගිහින් තමන් කවුද? ඉන්නේ කාත් එක්කද? කියලා රටටම පෙන්නුවා.

එදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් රට බේරා ගත්ත දවසේ මේ රටේ මිනිස්සු සතුට දරාගන්න බැරුව ඇඬුවා. එදා මේ පන්සලට ආව මිනිස්සු ඒ සතුටට යුද වීරයන්ට පිංදෙමින් යුද්ධයෙන් මැරුණු විරුවන් සිහිපත් කරමින් ඇඬුවා. අනේ මගේ රට නිදහස් වුණා කියලා මට එදා යුද්ධය දිනපු මොහොතෙ කියවුණා…

ඇල්ලේ ගුණවංශ හිමි ඒ වදන් පැවසුවේ බොහෝ හැඟුම්බරවය.

විරුවන්ගේ ප්‍රාණ වායුවෙන් නිදහස් මල් පිපුණ ඒ නිදහස් දේශය හෙටත් ජාතියේ උරුමයක් විය යුතුය. ඒ නිදහස් බිම මත වපුරන්නට යන බෙදා වෙන්කිරීමේ බීජ වපුරන්නට කවර ජගතෙකුටවුව ඉඩක් නොදීමේ වගකීම හා අයිතිය රටේ පුරවැසියන් වූ සැමට අයත් වූවක් බව ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් අවසන් වරට අවධාරණය කළ සත්‍යයයි.

සංජිවිකා සමරතුංග

Deshaya News Paper 2017-09-16
Article courtesy deshaya.lk